කොවිඩ් 19 පැතිරීම පාලනයේ දී මාධ්‍යයට කළ හැකි කාර්යභාරය සහ ඊට අදාළ යෙදුම් හි වාංමාලාව

කොවිඩ් 19 පැතිරීම පාලනයේ දී මාධ්‍යයට කළ හැකි කාර්යභාරය සහ ඊට අදාළ යෙදුම් හි වාංමාලාව

සුකුමාර් රොක්වුඩ් , ප්‍රධාන විධායක නිලධාරී , ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම 2019 දෙසැම්බර් 31 දා ලෝක සෞඛ්‍ය සංවිධානය ‘ අභිරහස් නිව්මෝනියාවක් ‘ ගැන නිවේදනය කළේ ය. එතැන් පටන් එම ‘අභිරහස්  නියුමෝනියාව ‘ SARS – CoV – 2 ලෙස හඳුනාගනු ලැබූ අතර  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් 19 ( 2019 කොරෝනා වයිරස් රෝගය ) ලෙස

සුකුමාර් රොක්වුඩ් , ප්‍රධාන විධායක නිලධාරී , ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම

2019 දෙසැම්බර් 31 දා ලෝක සෞඛ්‍ය සංවිධානය ‘ අභිරහස් නිව්මෝනියාවක් ‘ ගැන නිවේදනය කළේ ය. එතැන් පටන් එම ‘අභිරහස්  නියුමෝනියාව ‘ SARS – CoV – 2 ලෙස හඳුනාගනු ලැබූ අතර  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් 19 ( 2019 කොරෝනා වයිරස් රෝගය ) ලෙස නම් කරනු ලැබී ය. එය මතුවීමෙන් පසු එකවරට ම වාගේ එය ලෝකයේ සෑම රටකට ම ව්‍යාප්ත වී ය. අප බියට පත්ව බලා සිටිය දී , බියකරු සහ ක්ෂණික ලෙස පැතිරීම සිදු විය. 2020 නොවැම්බර් 02 දා වන විට , මරණ 1,196,362 ක් ඇතුළුව , පර්යේෂණාගාර පරීක්ෂණවලින් තහවුරු කළ කොවිඩ් 19 රෝගීන් 46,166,182 ක සංඛ්‍යාවක් ගෝලීය වශයෙන් වාර්තා වීය. රටවල් , ප්‍රදේශ හෝ භුමි ප්‍රදේශ 216 කින් තහවුරු කළ රෝගීන් වාර්තා වී ඇත.

පසුගිය සති කිහිපයේ දී , පුවත් විශාල ගණනක් , නොනවතින ශිර්ශපාට , ඡායාරුප සහ දිගින් දිගට යාවත්කාලීන කිරීම් සමග මෙම ගමනේ සෑම පියවරක් ම මාධ්‍ය මගින් ආවරණය කරනු ලැබී ය. විද්‍යුත් (ඩිජිටල් ) හෝ මුද්‍රිත හෝ සියලු මාධ්‍යවල මාධ්‍යවේදීන්ට ඇති ඉතා ම වැදගත් වගකීම වන්නේ ජනතාවට තොරතුරු ලබාදීම සහ දැනුවත් කිරීම මෙන් ම නිවැරදි ව තොරතුරු සැපයීම සහ වසංගත අවස්ථාවේ කෙනෙකු ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව අධ්‍යාපනය ලබාදීම යි. ජීවිත බේරා ගැනීමට උපකාර වන තොරතුරු සහ අධ්‍යාපනය ලබාදෙන අතර එය තරමට වඩා පිම්ඹීමෙන් වැළකීම මාධ්‍යවේදීන් ඉදිරියේ ඇති අභියෝගය යි.

මුද්‍රිත මාධ්‍ය මාධ්‍යවේදීන් බැඳී  සිටින සහ මේ වනවිට ඇතැම් අන්තර්ජාල මාධ්‍ය ද ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ වෘත්තීය ප්‍රතිපත්ති මාලාව සරල සහ ඉතා පැහැදිලි ය.

කොවිඩ් 19 ලෙස සැක කරන රෝගීන් සංඛ්‍යාව , සුවය ලැබූ ,ප්‍රතිකාර ලබන සහ මියගිය සංඛ්‍යයා පිළිබඳව ජනතාවට තොරතුරු ලබාදෙමින් දැනුවත් කරන අතර ම තිරයෙන් පිටුපස වාර්තා ද ජනමාධ්‍යවේදීන් විසින් සන්නිවේදනය කරනු ලැබීම වැදගත් ය. එනම් , වෛරසය පාලනය හෝ වැලැක්වීම හෝ සඳහා වන වැළක්වීමේ පියවර සොයා ගැනීම සඳහා වන පර්යේෂණ කටයුතු ආදිය යි. මාරාන්තික වෛරසයට නිරාවරණය වීම වැලැක්වීම සඳහා ගතයුතු අත්‍යවශ්‍ය පියවර ලෙස අත් සේදීම, විෂබීජ හරණය, සමාජ දුරස්ථ භාවය සහ මුහුණු ආවරණ පැලදීම වැනි මුලික ආරක්ෂක ක්‍රියාමාර්ග ප්‍රචලිත කළ යුතු ය. මහජනයාට උපදෙස් සහ සහාය ලබාගත හැකි දුරකථන අංක ලබාදීම ද , මාධ්‍යවීදීන් විසින් කළ යුත්තකි.

පහත පළවන්නේ කර්තෘ සංසදයේ වෘත්තීය ප්‍රතිපත්ති මාලාවෙන් උපුටා ගත කොටස් කිහිපයකි

01 වැනි රීතිය : වැරදි තොරතුරු, ව්‍යාජ ප්‍රවෘත්ති පළ කිරීමෙන් සහ ප්‍රවර්ධනය කිරීමෙන් වළකින්න

නිරවද්‍ය වාර්තාකරණය

* නිවැරැදිවත් විකෘතියකින් තොරවත් ප්‍රවෘත්ති පළ කිරීමත් , ඡායාරූප හා වෙනත් අනුරූප නිවැරදිව සහ විකෘති කිරීමකින් තොරව පළ කිරීමත් , සඳහා මාධ්‍යය , සාධාරණ පරෙස්සමකින් ක්‍රියා කළ යුත්තේ ය. සැලකිය යුතු සෑම අනුරූපමය ඩිජිටල් වෙනස් කිරීමක ම ඒ බව සඳහන් කළ යුතු ය.

* වාර්තාවල නිරවද්‍යතාව, එය පළ කැරෙන්නට කලින් සොයා බැලීම සඳහා කර්තෘවරුත් ඒ ඒ පුවත්පත් කලාවේදියෝත් සෑම සාධාරණ ප්‍රයත්නයක් ම දැරිය යුත්තෝ ය. එවැනි සොයා බැලීමක් ප්‍රායෝගිකව නොකළ හැකි අවස්ථාවක දී ඒ බව වාර්තාවෙහි සඳහන් කළ යුතු ය.

* කර්තෘවරුන්/වරියන්,  බාහිර ලේඛකයන්/ලේඛිකාවන් ඇතුළු කාර්ය මණ්ඩලත් අසත්‍ය හෝ නිවැරැදි නොවන බව තමන් දන්නා වූ ද , එසේයැයි විශ්වාස කිරීමට තමන්ට  හේතු ඇත්තා වූ ද කිසිදු කරුණක් තහවුරු වන අන්දමින් පළ නොකළ යුත්තේ ය.

*  අර්ථ නිරූපන, අනුමාන, සහ කරුණු  අතර වෙනස මාධ්‍යය විසින්  පැහැදිලිව වෙන්කොට  දැක්විය යුතු ය.

02 වැනි රීතිය : කරුණු , මත, ඡායාරුපමය ඉදිරිපත්කිරීම් අවශ්‍ය සංවේදීතාවයෙන් සහ විචාරශීලී බවින්  යුතුව කළ යුත්තේ ය.

 පොදු වාර්තාකරණය හා ලිවීම

* කම්පන හෝ හිත් වේදනා ඇති කරන ආකාරයේ සමාජ ප්‍රශ්න, එනම්, කෲරත්වය,ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය අපයෝජනය, දුෂ්ටත්වය,පරපීඩා කාමුකත්වය, ලිංගික පීඩනය හා අශිෂ්ටත්වය ද යනාදිය පිළිබඳ කරුණු වාර්තා කිරීමේ දී ඊට සම්බන්ධ ඡායාරූප හා චිත්‍ර, අවශ්‍ය සංවේදීතාවයෙන් හා විචාර බුද්ධියෙන් යුතුව මෙන් ම, පොදුජන යහපත උදෙසා කරුණු ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ තමන්ගේ වගකීමට යටත්ව ද ඉදිරිපත් කිරීමට පුවත්පත විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තේ ය.

03 වැනි රීතිය : පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට සහ පවුල් ජීවිතවලට ගරු කරන්න

 පෞද්ගලිකත්වය

* පුද්ගලයන්ගේ පෞද්ගලික හා පවුල් ජීවිත ඔවුන්ගේ ගේ-දොර ,සෞඛ්‍යය හා සහ සම්බන්ධතා ද ඩිජිටල්  සන්නිවේදනය කෙරෙහි ගෞරවයක් දැක්වීමෙහිලා පුවත්පත් විශේෂ සැලැකිල්ලකින් ක්‍රියා කළ යුත්තේ ය. පෞද්ගලිකත්වයට ඇති මෙම  අයිතිය අදාළ පුද්ගලයන්ගේ කැමැත්තෙන් තොරව ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කළ හැක්කේ පොදුජන සුබ සිද්ධිය ඒ සියල්ල ඉක්මවා යන්නේ නම් පමණකි.

* පෞද්ගලිකත්වය පිළිබඳ සාධාරණ අපේක්ෂාවක් පවත්නා පෞද්ගලික හෝ පොදු තැනක සිටින පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්ත නැතිව ඡායාරූපගත කරනු සඳහා දිගු කාච සහිත හෝ වෙනත් ආකාරයක කැමරා භාවිතය, පොදු යහපත පිණිස නොවන්නේ        නම්, එය පිළිගත නොහැක්කේ ය.

* ශෝකය හෝ කම්පනය හා සම්බන්ධ සිද්ධි පිළිබඳ කරුණු විමසීමේදීත්, ඒ සඳහා ඒවාට සමීපවීමේදීත්, නිසි සංවේදීතාවෙන් හා ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කිරීමට පුවත්පත්කලාවේදී හු විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තෝ ය.

* එය පොදුජන සුබ සිද්ධිය පිණිස වන්නේ නම්  හැර, පෞද්ලිකත්වය ආක්‍රමණය කිරීමට එරෙහි තහංචි රෝහල්වල හෝ සමාන වෙනත් ආයතනවල හෝ සිටින පුද්ගලයන් පිළිබඳ විමසීම්වලට විශේෂයෙන් අදාළ වන්නේ ය.

 

04 වැනි රීතිය : මහජනයා බිය ගැන්වීමෙන් හෝ ඔවුන්ට හිරිහැර කිරීමෙන් වළකින්න

 හිරිහැර හා කපටිකම්

* බිය වැද්දීමෙන් හෝ හිරිහැර කිරීමෙන් හෝ වැරැදි කරුණු ඉදිරිපත් කිරීමෙන් හෝ උපාමාරු මගින් හෝ තොරුතුරු හෝ ඡායාරූප ලබා ගැනීමට ඡායාරූප ශිලපීහූ ද ඇතළු පුවත්පත් කලාවේදිහු තැත්          නොකළ යුත්තෝ ය. පොදු ජන යහපත පිළිබඳ        සාධකයෙන් සාධාරණීකරණය කළ හැකි නම් හා වෙනත් පිළිවෙළකින් තොරතුරු ලබා ගත හැකි නොවිණි නම්, දිගු කාච සහිත කැමරා හෝ ශ්‍රවණ උපකරණ, පුද්ගලික හෝ ජංගම දුරකථන ඇමතුම්,  විද්‍යුත්  තැපෑල හෝ පණිවිඩ භාවිතා නොකළ යුත්තෝය.

 

රෝගය සමග සම්බන්ධව ඇති විවිධ යෙදුම් පිළිබඳව මාධ්‍යවේදීනට උපාකරවීම සඳහා  ‘කොවිඩ් 19 ආවරණය කරන මාධ්‍යවේදීන් යොදාගන්නා ප්‍රධාන යෙදුම් සඳහා වන පදමාලාවක්’  පහතින් ඉදිරිපත් කරමි.

කොවිඩ් 19 ආවරණය කරන මාධ්‍යවේදීන් යොදාගන්නා ප්‍රධාන යෙදුම් හි වාංමාලාව

රෝග ලක්ෂණ නොපෙන්වන

රෝගය ඇත්තෙකු රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් ඔහු රෝග වාහකයකු විය හැකි ය. වසංගත  රෝග පාලන සහ වැළක්වීමේ මධ්‍යස්ථානයට අනුව,  වෙනත් කොරෝනා  වෛරස් වල දී ඔවුන් දැක ඇති පරිදි කොවිඩ් 19 ට දින දෙකේ සිට 14 ක් දක්වා වූ ආසාදන කාලයක් තිබිය හැකි ය.

බුබුල

බුබුලක් ලෙස හඳුන්වනු ලබන්නේ කිට්ටු සබඳතා ඇති පුද්ගල කණ්ඩායමකි. උදාහරණය ; වයස 18 ට අඩු ළමයකු සිටින තනි වැඩිහිටි මවක හෝ පියෙකු නැතහොත් පවුලකි .

වසංගත රෝග පාලන සහ වැළක්වීමේ මධ්‍යස්ථානය

කොවිඩ් 19 රෝගීන් හඳුනාගැනීම, පාලනය, වැලැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා සම්බන්ධිකරණ කටයුතු කරන  ප්‍රධාන මධ්‍යස්ථානය

රෝග මරණ අනුපාතය

මරණ අනුපාතය යි. බෝවන රෝගයකින් මරණයේ අවදානම පිලිබඳ තක්සේරුව යි. රෝග මරණ අනුපාතය ගණනය කරනු ලබන්නේ යම්කිසි කාල සීමාවක් තුළ’ රෝගයෙන් මියගිය සංඛ්‍යාව ,  රෝගය වැළඳුනු සංඛ්‍යාවෙන් බෙදීම මගින්  ගණනය කරන සංඛ්‍යාව යි.

ක්ලොරෝකුයින් සහ හයිඩ්රොක්ෂීක්ලොරෝකුයින්

ප්‍රධාන වශයෙන් මැලේරියාවට ප්‍රතිකාර කිරීමට සහ වැලක්වීමට යොදාගන්නා  ඖෂධ වෙයි. මෙම ඖෂධ පිලිබඳ  සායනික පරීක්ෂණ තවමත් සිදුවන අතර ඒවා ප්‍රයෝජනවත් ද යන්න මුලික සාක්ෂි මගින් තවමත් පැහැදිලි නැත.

සමීප ආශ්‍රීතයින්

හඳුනාගත් රෝගියෙකුට සමීපත්වය හෝ නිරාවරණය වීම හෝ නිසා රෝගය වැළදීමේ අවදානම තිබිය හැකි තැනැත්තන් ය. කොවිඩ් 19 සඳහා වසංගත රෝග මධ්‍යස්ථානය විසින් සමීප ආශ්‍රිතයන් නිර්චනය කරනු ලැබ ඇත්තේ , රෝගය ආසාදනය වූවකුට අඩි හයක දුරක ඇතුළත දිගු කාලයක් සිටි තැනැත්තකු හෝ අසාදිත තැනැත්තාගේ ශ්‍රාවයන්ට කෙලින් ම ආශ්‍රිත වූ තැනැත්තන් හෝ වශයෙනි.

පොකුර

රෝගීන් පොකුරක් හෝ ආසාදිතයින් පොකුරක් යනු එක ම ප්‍රදේශයක , එක ම කාල  සීමාවක් තුළ , හමුවන සමාන සෞඛ්‍ය ප්‍රශ්නයකට ගොදුරුවන කණ්ඩායමකි.

සමාජීය සම්ප්‍රේෂණය / පැතිරීම

වෙනත් ප්‍රදේශයකට ගමන් කිරීමේ ඉතිහාසයක් සහ හඳුනාගත් රෝගිය‍ෙකුට සම්බන්ධතාවක් නොමැතිව යම්කිසි භූගෝලීය කලාපයකින් ආසාදිතයින් හඳුනා ගැනීමයි.

තහවුරු කළ රෝගීන්

රෝග විනිශ්චය පරීක්ෂණ මගින් තහවුරු කරනු ලැබූ රෝගී සංඛ්‍යාව යි. සැබවින් ම සිටිය හැකි රෝගී සංඛ්‍යාව මීට වඩා බොහෝ වැඩි විය හැකි ය.

ආශ්‍රිතයින් ලුහුබැඳීම

තව තවත් බෝ වීම වැලැක්වීම සඳහා , වසංගත රෝගයට නිරාවරණය වූ තැනැත්තන් හඳුනාගැනීමේ , තක්සේරු කිරීමේ සහ කළමනාකරණයේ ක්‍රියාවලිය යි.

හුදෙකලා කිරීම ( නිරෝධායනය ද බලන්න )

යම්කිසි ප්‍රදේශයකට හෝ නගරයකට හෝ  ඇතුළුවීම සහ ඉන් පිටවීම  සීමා කිරීම යි ; රෝගය පැතිරීම වැලැක්වීම සඳහා ,රෝගය ආසාදනය වී ඇති නිශ්චිත භූගෝලීය ප්‍රදේශයකින් කිසිවකු පිටව යාම වැලැක්වීම යි.

කොරෝනා වෛරසය

සාමාන්‍ය සෙම්ප්‍රතිස්‍යාවේ සිට මැද පෙරදිග ස්වසන සින්ඩ්‍රෝමය ( MERC – CoV ),සහ දරුණු උග්‍ර ස්වසන සින්ඩ්‍රෝමය (SARS – CoV ) වැනි වඩා  බරපතළ රෝග දක්වා රෝගවලට හේතුවන වෛරස් පවුලකි.  SARS – CoV -2 ලෙස හඳුන්වා ඇති මෑතක දී සොයාගත් නව කොරෝනා  වෛරසය කොවිඩ් 19 රෝගයට හේතු වෙයි.

කොවිඩ් 19

නව කොරෝනා වෛරසය වන SARS – CoV -2 මගින් ඇතිකරන රෝගී තත්ත්වය යි. කොරෝනා වෛරස් රෝගය -2019 (  Corona Virus Disease -2019 ) යන්න කෙටියෙන් කොවිඩ් 19 ලෙස හඳුන්වා ඇත.  ඔබ රෝගී නම් ඔබට කොවිඩ් 19 වැලඳී ඇත්නම් ඔබට ආසාදනය වී ඇත්තේ SARS – CoV -2 වෛරසය යි.

ධාවකය හරහා පරීක්ෂාව

පරීක්ෂාවට ලක්වන තැනැත්තා සිය වාහනය තුළ සිටිය දී, ආරක්ෂක ක්‍රියාමාර්ග සහිතව පැමිණෙන වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් ස්වබ් පිස්න පරීක්ෂාවක් කිරීම යි.  ඉන් පසුව එම ස්වබ් පිස්න, පරීක්ෂාව සඳහා පරීක්ෂණගාරයක් වෙත යවනු ලබයි .

බින්දු සම්ප්‍රේෂණය / පැතිරීම

රෝගය ආසාදනය වුවකුගෙන් කිවිසුම් , කැස්ස හෝ කතාවේ දී නිපදවන ස්වසන බින්දු සාපේක්ෂ වශයෙන් විශාල ප්‍රමාණයක් කෙටි දුරක- අඩි හයකට අඩු දුරක – බෝවන රෝගය සම්ප්‍රේෂණය වීමේ ක්‍රමයකි.

තීරණ ගත හැකි  සැත්කම්

හදිසි සහ අත්‍යවශ්‍ය නොවන ප්‍රතිකාර යි. සමාජීය සම්ප්‍රේෂණය පවතින අවස්ථාවක දී , වසංගත රෝග මධ්‍යස්ථානය නිර්දේශ කරන්නේ තීරණ ගත හැකි ප්‍රතිකාර. සැත්කම් සහ අත්‍යවශ්‍ය නොවන බාහිර රෝගී හමුවීම් කල් දමන ලෙසට යි.

අවේනික රෝග

උණ , උගුරේ අමාරු හෝ ඕනෑම පොදු රෝගයක් වැනි , මානවයන්ට නිතර හැදෙන රෝග යි.  සාමාන්‍යයෙන් මානවයන්ට ආසාදනය වන කොරෝනා වෛරස් වර්ග හතරක් ඇත. ඒවා මතුවන්නේ සාමාන්‍ය සෙම්ප්‍රතිස්යාව් වශයෙනි.

වසංගත

එම ප්‍රදේශයේ ජනයා අතර සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන රෝගයක විශාල රෝගීන් ප්‍රමාණයක් ,බොහෝ විට හදිසියේ ම, වර්ධනය වී ම යි.  මුලින් හමු වූ ප්‍රදේශයට පිටතින් ප්‍රමාණවත් පැතිරීමක් සිදු වූ විට එය මහා වසංගතයක් වෙයි.

අත්‍යවශ්‍ය ක්‍රියා

කෙනකුගේ සෞඛ්‍යයට හෝ ආරක්ෂාවට නැතහොත් ඔහුගේ පවුලේ හෝ නිවැසියන්ගේ සෞඛ්‍යයට හෝ ආරක්ෂාවට අත්‍යවශ්‍ය වන කාර්යයන් ය. ආහාර සහ ඖෂධ ලබාගැනීම හෝ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීම හෝ වෙනත් අවශ්‍ය කටයුතු මෙයට ඇතුළත් විය හැකි ය.

අත්‍යවශ්‍ය රාජ්‍ය කටයුතු

රාජ්‍ය ආයතන නොකඩවා ක්‍රියාත්මක වීමට සහ මහජනයාට සෞඛ්‍යය , ආරක්ෂාව සහ සුබසාදනය සැපයීමට අවශ්‍ය සියලු සේවා යි.

උණ

වසංගත රෝග මධ්‍යස්ථානයට අනුව උණ වශයෙන් සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ ශරීර උෂ්ණත්වය 100.4 F ඉක්මවා යාම යි.

වක්‍රය සමතලා කිරීම.

රෝහල් සහ යටිතල පහසුකම්වලට ඇති ඉල්ලුම අඩුවන පරිදි වෛරස්  පැතිරීමේ වේගය අඩු කිරීම යි. රෝගීන් වාර්තා වීමේ ඉහළ ම මට්ටම මගින් මරණ සංඛ්‍යා ඉහළ යාමට හේතු විය හැකිය.

ෆොමිටේ

රෝග විෂබීජ සම්ප්‍රේෂණ යේ වාහකයක් විය හැකි අජීවී වස්තුවකි. ( උදා : ඇඳ ඇතිරිලි, තුවා හෝ ශල්‍ය උපකරණ ) . මෙය රෝග පැතිරීමේ වඩා පොදු ක්‍රමයක් නොවුවත් , කොරෝනා වෛරසය මෙබඳු අජීවී වස්තු මගින් පැතිරෙන බවට සාක්ෂි ඇත.

රංචු ප්‍රතිශක්තිය

වෛරසයට විවෘත වීම හෝ එන්නතක් මගින් හෝ ප්‍රමාණවත් පුද්ගල සංඛ්‍යාවක් තුළ රෝගයට ප්‍රතිශක්තිය ඇති වූ විට ජනතාව අතර රෝගය පැතිරීමේ වේගය අඩුවීම හෝ නැවතීම හෝ  සිදුවීම යි.

නිවෙස් හුදෙකලාකරණය

කොවිඩ් 19 රෝග ලක්ෂණ ඇති හෝ රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු වූ රෝගීන්ට සුවය ලබන තෙක් නිවසට වී සිටින ලෙස දෙන නියෝගය යි.

බිජෝෂණ කාලය

ආසාදනය ආරම්භ වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම දක්වා කාලය යි.

හුදෙකලාකිරීම

වසංගත රෝගයෙන් රෝගී වූ තැනැත්තන් එසේ නොවූ අයගෙන් වෙන් කොට තැබීම යි.

MERS ( මැද පෙරදිග ස්වශන සින්ඩ්‍රෝමය )

වෙනත් ආකාරයක කොරෝනා වෛරසයකි . සංසිප්තය මගින් අසනීපය හඳුන්වනු ලබන අතර MERS – CoV – 2 ලෙස රෝගය හඳුන්වනු ලබයි.

සම්ප්‍රේෂණ මාතයන්

කෙනෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය පැතිරෙන ආකාරය යි. ස්වශන ආසාදන විවිධ ප්‍රමාණයේ බිදිති මගින් සම්ප්‍රේෂණය විය හැකි ය.

N95 ස්වශක ( ශල්‍ය මුව වැසුම් )

වාතයෙන් එන අංශුවලින් සහ මුහුණට ද්‍රාවන වැටී අපවිත්‍ර වීමෙන් පලදින්නා ආරක්ෂා කිරීම සඳහා යොදාගන්නා පුද්ගල ආරක්ෂක උපකරණයකි. මුහුණු ආවරණ යනු සරල භෞතික බාධකයක් පමණක් වන අතර ස්වශක  මගින් තද සිර කිරීමක් සිදුවන අතර වාතය පෙරීමක් ද සිදුවෙයි.

අඩු පීඩන කාමර

හුදෙකලා කාමරයකට වාතය ඇතුළු වීමට හැකි වන නමුත් ඉන් වාතය පිටවීමට නොහැකි වන පරිදි , රෝහලේ වෙනත් කිසිදු ප්‍රදේශයකට වාතය නොයන ලෙස බෝවෙන රෝග සහිත රෝගීන් සඳහා විශේෂයෙන් සැලසුම් කළ කාමර යි.

නවතම

අලුත් යන අර්ථය යි.  නවතම කොරෝනා වෛරස් විශේෂය මීට පෙර මානවයින් අතරින් සොයාගෙන නැත. වර්තමාන වසංගත තත්ත්වයට හේතු වූ වෛරසය නවතම කොරෝනා වෛරසය ලෙස බොහෝ විට හඳුන්වනු ලබයි.

අධි වසංගතය ( Pandemic )

සාමාන්‍යයෙන්  විශාල ජනතාවකට බලපාන පරිදි රටවල්/ මහාද්වීප ගණනාවක් පුරා පැතිරුණු වසංගතයකි .

පුද්ගලයකුගෙන් පුද්ගලයකුට පැතිරීම

සැබෑ භෞතික සම්බන්ධයකින් හෝ ළඟ සිට සිදුවන කැස්සක් හෝ කිවිසුමක් මගින් හෝ වැනි ඕනෑ ම ආකාරයක අන්තර් ක්‍රියා මගින් ජනයා අතර කිට්ටු සම්බන්ධතා තුලින් වෛරසය ආසාදනය වීම යි. අපවිත්‍ර පෘෂ්ට මගින් හෝ සත්වයින් මගින් රෝගය පැතිරීමට වඩා මෙය වෙනස් ය.

පුද්ගල ආරක්ෂක උපකරණ ( PPE )

විෂබීජ තැවරීමෙන් සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කර තැබීමට යොදාගන්නා මුඛ ආවරණ , අත් වැසුම් , මුහුණු පලිහ සහ වෙනත් උපකරණ යි.

භෞතික  දුරස්තකරණය

බෝවන රෝගයක් පැතිරීම වැලැක්වීම හෝ පාලනය කිරීම සඳහා යම් ප්‍රජාවක් තුළ පුද්ගලයින් අතර සම්බන්ධතා අඩුකිරීමට ගන්නා පියවර යි.  ලෝක සෞඛ්‍ය සංවිධානය “සමාජ දුරස්ථභාවය “ යන යෙදුම වෙනුවට “ භෞතික දුරස්ථභාවය” යන යෙදුම යෝජනා කොට ඇත්තේ මහජනයා භෞතික වශයෙන් වෙන්කර තබන අතර ඔවුන් සමාජමය වශයෙන් සම්බන්ධ කර තබා ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා ය.

නිව්මෝනියාව

පෙනහළුවල ඇති කුඩා වාත කවරය ( වායුගෝලයෙන් ලැබෙන වායු රුධිරය සමග හුවමාරු වන ව්‍යුහය ) ඉදිමී ද්‍රාවනවලින් පිරීම යි. මෙය කොවිඩ් 19 හි රෝග ලක්ෂණයක් විය හැකි ය.

මහජන සෞඛ්‍යය හදිසි අවස්ථාව

හදිසි අවස්ථාවට යොදාගැනීම සඳහා වෙශේෂිත මුදල් හා සම්පත් ලබාගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙන නිල තත්ත්වය යි.

නිරෝධායනය

බෝවන රෝගයකට නිරාවරණය වූ හෝ නිරාවරණය වුවා වීමට ඉඩ ඇති තැනැත්තන් වෙන්කිරීම සහ ඔවුන්ගේ ගමන් සීමා කිරීම යි.

RO / ප්‍රතිනිෂ්පාදන අනුපාතය

රෝග වාහකයකුගෙන් රෝග බෝවීමේ හැකියාව හෝ සම්ප්‍රේෂණය වීමේ හැකියාව විස්තර කිරීමට වසංගත රෝග විශේෂඥයන් යොදාගන්නා දර්ශකයකි. එය යම්කිසි කාල  සීමාවක දී , එක් රෝගියකුගෙන් අනික්  රෝගීන් කී දෙනකු ඇතිවිය හැකිදැයි කෙරෙන තක්සේරුවකි. කොවිඩ් 19 සඳහා මෙම ඇස්තමේන්තුව 2 සිට 3 දක්වා වෙයි. එය සාමාන්‍ය සෙම්ප්‍රතිස්‍යාවට ( 1.2 සිට 1.3 ) ට වඩා වැඩි නමුත් සරම්ප ( 12-18 ) වැනි බෝවන රෝගයකට වඩා අඩු ය.

ප්‍රති පිටපත් කිරීමේ පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව (RT – PCR )

කොවිඩ් 19 හඳුනාගැනීමේ පරීක්ෂණ සඳහා යොදාගන්නා තාක්ෂණයකි. එයින් බලන්නේ වෛරසයේ ජාන අත්සන යි.

SARS – CoV 2 ( දරුණු උග්‍ර ස්වසන සින්ඩ්‍රෝමය කොරෝනා වෛරස 2 )

කොවිඩ් 19 රෝගය ට හේතුවන නවතම කොරෝනා වෛරසයේ නාමය යි.

ස්වයං නිරෝධායනය

රෝගයට නිරාවරණය වීමකින් පසුව නිවසට වී සහ අනෙක් අයගෙන් හැකිතාක් ඈත්ව සිටීමේ ක්‍රියාව යි.

සිරෝලොජිකල් පරීක්ෂාව

කෙනෙකු කුමන අවස්ථාවක හෝ කොවිඩ් 19 රෝග ආසාදනයට ගොදුරු වී ඇත්දැයි සහ ප්‍රතිශක්තිකරණය ඇතිවී ඇත්දැයි පෙන්නුම් කළ හැකි , ප්‍රතිදේහ ( විශේෂිත වෛරසයට හෝ රෝග කාරකයට එරෙහිව සටන්කිරීම සඳහා රුධිර ප්‍රෝටීන ගොඩ නැගීම ) සඳහා වන රෝග පරීක්ෂාව යි.

නවාතැන් ස්ථානය

අත්‍යවශ්‍ය කාර්යයන් , අත්‍යාවශ්‍ය ව්‍යාපාරික කටයුතු සහ ආණ්ඩුවේ අත්‍යාවශ්‍ය රාජකාරි ඉටුකිරීමට හැරුණු විට , සියලු ම ජනයා ඔවුන් පදිංචි ස්ථානවල සිටිය යුතු ය.

නිවසේ රැඳි සිටීමේ නියෝග

නව කොරෝනා වෛරසය පැතිරීම සීමා කිරීමේ උත්සහයක් ලෙස වැසියන්ගේ ගමන් බිමන් සීමා කිරීම බලාත්මක කළ හැකි නියෝගය යි. මෙම නියෝගය කඩ කරන අය අත් අඩංගුවට ගැනීමට , ඔවුන්ට දඩ නියම කිරීමට හෝ ඔවුන් සිරගත කිරීමට පවා ඉඩ ඇත.

සමාජ දුරස්තකරණය ( භෞතික දුරස්තකරණය ද බලන්න )

බෝවන රෝගයක් පැතිරීම වැලැක්වීම හෝ පාලනය කිරීම සඳහා යම්කිසි ප්‍රජාවක් තුළ පුද්ගලයින් අතර සම්බන්ධකා අඩු කිරීමට ගන්නා පියවර යි. නිවසේ සිට වැඩ කිරීම , කාර්යාල සහ පාසල් වසා දැමීම, උත්සව අවලංගු කිරීම සහ පොදු ප්‍රවාහනය නොකිරීම ආදිය මෙයට ඇතුළත් විය හැකි ය.

සහකාර බුබුල

හිතවතුන්ගෙන් සහ පවුල්වලින් වෙන් වන්නට සිදු වූ ඇතැම් කුටුම්බ ඒකිනෙකාට උදවු කරගැනීම සඳහා එක්සත් වෙති. ඇතැම් රටවල තනිව ජීවත්වන වැඩිහිටියෝ  හෝ වයස අවුරුදු 18 ට අඩු දරුවන් සිටින තනි මවුපියෝ වෙනත් කුටුම්බ සමග සහකාර බුබුලු ගොඩනගා ගනිති.

රෝග ලක්ෂණ

රෝගයේ විශේෂිත අසනීප තත්ත්වයක ලක්ෂණ යම් තැනැත්තකු පෙන්නුම් කිරීම යි.  උණ, කැස්ස සහ හුස්ම හිරවීම  කොවිඩ් 19 හි පොදු රෝග ලක්ෂණවලට ඇතුළත් ය.

චිකිත්සාව

රෝගයක රෝග ලක්ෂණවල දරුණු බව අඩු කිරීමට හෝ ජනයා  දරුණු ලෙස රෝගාතුර වීම හෝ මියයාම හෝ වැලක්වීමට හෝ ලබාදෙන ඖෂධ යි.

එන්නත

රෝග කාරකයකට ප්‍රතිශක්තිය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් රෝග කාරකයකට ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීමේ සැකසුමකි.

වාතකය

මුව හෝ නාසයේ සිට  සුළං නාල දක්වා දිවෙන ලෙස සවිකරණ නලයක් තුලින් පෙනහළු තුලට වාතය ලබාදෙන උපකරණයක් හෝ යන්ත්‍රයකි.

වෛරස වැගිරීම

අලුතින් කෙනෙකු තුළ වෛරසය ප්‍රති ජනනය වෙමින් විමෝචනය වීමේ කාල සීමාව යි.

සත්ව විද්‍යාත්මක

සත්ව විද්‍යාත්මක රෝග සත්තු තුළ පවතින අතර මානවයන්ට ද ආසාදනය විය හැකි ය. කොවිඩ් 19 සත්ව විද්‍යාත්මක රෝගයකි .

මුලාශ්‍ර : ගෝලීය සෞඛ්‍යය පතිපත්තියේ කොරෝනා වෛරස ( කොවිඩ් 19 ) පැතිරීමේ වචන මාලාව ,  CNN හි , වසංගත, කොවිඩ් 19 සහ  සියලු ම කොරෝනා වෛරස් සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු යෙදුම් ,  Vox හි  වාතක සහ ස්වශක , නිරෝධායනය සහ හුදෙකලාකරණය , කොවිඩ් 19 වසංගත යෙදුම්, නිර්වචන , FDA හි 2019 කොරෝනා වෛරස් රෝගය ( කොවිඩ් 19 ) , කර්තෘ සංසදයේ වෘත්තීය ප්‍රතිපත්ති මාලාව ,

අවසන්. 2020 නොවැම්බර් 03 දින

.

admin
ADMINISTRATOR
PROFILE

Posts Carousel

Leave a Comment

Your email address will not be published. Required fields are marked with *

Latest Posts

Top Authors

Most Commented

Featured Videos